ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!

සිංහල දමිළ අලුත් අවුරුද්ද යනු ශ්‍රී ලංකාවේදී අලුත් අවුරුද්ද ලෙස පොදුවේ හඳුන්වන ශ්‍රී ලාංකික ජනයාගේ නව අවුරුදු උදාවයි. මලින් බර වූ තුරු - වැල් මෙන්ම කොවුල් නාදයත් සමග සෑම වසරකම බක් මාසයේ සූර්යය සංක්‍රාන්තියතියෙන් නව සිංහල හා දමිළ අලුත් අවුරුද්ද උදා වෙයි. මෙම සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ පැවති මහා සංස්කෘතික මංගල්‍යයකි. අලුත් අවුරුදු උදාවත් සමඟ අස්වනු නෙලීමේ කාලයේ අවසානය සනිටුවහන් කිරීම සිදු වේ. බෞද්ධයින් හා හින්දු භක්තිකයින් සිය ආගමික කටයුතු වලට මුල්තැන දෙමින් නව අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරයි. වර්තමානයේ අවුරුදු දින සිරිත් විරිත් ඉටු කිරීම සාම්ප්‍රදායිකව නක්ෂත්‍රකරුවන් විසින් ලබාදෙන නැකැත් වේලාවන් අනූව කරනු ලබයි. නිවසේ අවුරුදු කෑම මේසයේ කැවිලි අතර කිරිබත්, කැවුම්, කොකිස්, කෙසෙල් අනිවාර්ය කැවිලි වේ. නැකතට ආහාර අනුභව කිරීම, වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා හිස තෙල් ගෑම අලුත් අවුරුදු උදාවෙන් පසුව සිදු කරන මූලික චාරිත්‍ර වේ. ඉතා ප්‍රීතිමත් කාලයක් වන අලුත් අවුරුදු උත්සව සමය තුල ළමුන් මෙන්ම වැඩිහිටියන්ද සම්ප්‍රදායික ඇඳුමින් සැරසී නෑදෑ හිතමිතුරන් සමඟ එකට එකතු වී පංච කෙළිය, ඔන්චිලි වාරම්, ඔළිඳ කෙළිය, රබන් ගැසීම ආදී අවුරුදු ක්‍රීඩා වල යෙදෙයි. ගම්වැසියන් සියලු දෙනා දායකත්වයෙන් අවුරුදු උත්සව පවත්වනු ලබන අතර. කොට්ට පොර ගැසීම, පොර පොල් ගැසීම, ලිස්සන ගහේ නැඟීම,කඹ ඇඳීම, අවුරුදු කුමරිය තේරීම වැනි තරඟ ඉසව් වලට මෙහිදී මුල් තැන හිමි වේ.



More Events