ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරය සහ විශේෂයෙන්ම මහනුවර නගරය ඉතා උසස් සහ ඵෙතිහාසික ඉතිහාසයකට උරුමකම් කියන අතර, පහතරට දැකිය හැකි ආකාරයට වඩා කරුණු කිහිපයකින් සුවිශේෂී වේ. උඩරට නර්තන සම්ප්‍රදාය, සංස්කෘතිය සමඟ සබැඳි සුවිශේෂී අංගයන් අතරින් එකකි. මෙම ප්‍රසංග සඳහා නර්තන ශිල්පීන් පුළුල් පරාසයකින් යොදා ගනු ලබයි. බෙර, ඇඳුම් පැළඳුම් සහ බෙර වාදන විලාසය දිවයිනේ එක්තරා කොටසක් සඳහා සුවිශේෂී වන අතර, මින් බොහෝමයක් සාමාන්‍යයෙන් ප්‍රාදේශීය සැමරුම් සහ උත්සවවලදී සිදු කරනු ලබයි. තේජවන්ත හස්ති රාජයන්ගේ ගමන් විලාසය, වර්ණවත් මොණර දර්ශන, සහ රුදුරු නාග චලනයන් ආදිය නර්තනය මඟින් දක්වනු ලබයි. ඇතැම් නර්තනයන් සඳහා සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය වෙස් මුහුණු යොදා ගන්නා අතර, ඉන් නර්තනය සඳහා ලාලිත්‍යයක් සහ කුතුහලයක් එක් කරනු ලබයි.
උඩරට නර්තනයේදී යොදා ගනු ලබන බෙරය “ගැට බෙරය” නමින් හඳුන්වනු ලබයි. රුහුණේදී (පහතරට) යොදා ගනු ලබන බෙරය “යක් බෙරය” නම් වන අතර, සබරගමු නර්තනයේදී යොදා ගනු ලබන්නේ “දවුල්” බෙරයයි. ගැට බෙරය මෙන්ම යක් බෙරය අතින් තට්ටු කිරීමෙන් වාදනය කරනු ලබන අතර, දවුල් බෙරය වාදනය කිරීමේදී එක් පැත්තක් කෝටුවකින් සහ අනෙක් පැත්ත අතින් වාදනය කරනු ලබයි. ගැට බෙරයේ කඳ දෙපැත්තෙන් කුඩා වන අතර, යක් බෙරය සහ දවුල් බෙරය සිලින්ඩරාකාර කඳකින් යුතුය.
මඟුල් බෙර වාදනය (සමාරම්භක බෙර වාදනය)
ඕනෑම විශේෂ උත්සවයක් ආරම්භයේදී බෙර වාදනය කොට ආශිර්වාදයන් ලබා ගැනීම පැරණි සිංහල රාජධානි සමයේ පටන් පැවතෙන සාම්ප්‍රදායික පිළිවෙතකි. බෙර වාදනය සඳහා භාවිත කරන වචනවල රිද්මයේ හිතකර “ගණ” පිහිටන බවත්, ඉන් නිකුත් වන හඬ මඟින් සෞභාග්‍ය කැඳවන බැව් සිංහල සමාජය තුළ පවතින විශ්වාසයකි. ඇසළ පෙරහැර ආරම්භයේදී දළදා මාළිගාවේදී සහ අනෙකුත් දේවාල පහ හි මෙම සමාරම්භක බෙර වාදනය සිදු කරනු ලබයි.
පූජා නැටුම
පුරාණ සිංහල රජ කාලයේ සිට පැවත එන, ප්‍රධාන වශයෙන් දළදා සමිඳු ඇතුළු ත්‍රිවිධ රත්නයේ පිහිට පතා මෙම නර්තනයන් පවත්වනු ලබයි. විදේශීය සහ දේශීය සහභාගිවන්නන්ට ආශිර්වාද කිරීමේ අරමුණින් වර්තමානයේ මෙම පූජා නැටුම ඉදිරිපත් කරනු ලබයි.
දෙවොල් නැටුම
මෙම නර්තන සම්ප්‍රදාය ශ්‍රී ලංකාවේ මාතර, ගාල්ල, තංගල්ල, බෙන්තර සහ කළුතර යන ප්‍රදේශවලට පමණක් සීමා වේ. දෙවොල් දෙවියන් සඳහා පුද සත්කාරයක් ලෙස මෙය ඉදිරිපත් කළද, වර්තමානයේ පහතරට ප්‍රදේශවල වැඳුම් පිදුම් ලබන ඉහත කී දෙවියන් වහන්සේ සිහිපත් කරමින්, උත්සවයට පැමිණෙන පිරිස වෙත උන්වහන්සේගේ ආරක්ෂාව ලබා ගැනීමටත්, උපකාරය ලබා ගැනීමටත් මෙම නර්තනය ඉදිරිපත් කරනු ලබයි.
මයුර වන්නම
මයුර (මොනරා) යනු ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ඉතා සුවිශේෂි සහ ආකාර්ෂණීය පක්ෂියෙකි. මොනරාගේ ස්වභාවික වර්ණය දැකීමෙන් ලබන මානසික සතුට මඟින් පුද්ගලයින්ගේ ලේ පිරිසුදු කරන බව වර්ණ පිළිබඳ විශේෂඥයන්ගේ මතයයි. ශ්‍රී ලංකාවේ පුද සත්කාර ලබන කතරගම දෙවියන්ගේ වාහනය ලෙසත්, ඇසළ පෙරහැර මංගල්‍යයේ කතරගම දේවාල පෙරහැරේදී පවා මොනරා සම්බන්ධ වනු ලබන අතර, මයුර නැටුම හෝ මොනර නැටුම සඳහා ඉතා වැදගත් ස්ථානයක් හිමි වේ. මෙහිදී මොනරාගේ ගුණ කවියක් ආකාරයෙන් ඉදිරිපත් කෙරෙන අතර විවිධ කෝණවලින් මොනරාගේ හැඩය නර්තනය මඟින් ඉදිරිපත් කරනු ලබයි.
මෙම නර්තන ප්‍රසංගය කතරගම දෙවියන්ට වන්දනාමාන දැක්වීම සඳහා ඉදිරිපත් කරන අතර, සහභාගිවන්නන්ට ආශිර්වාද කිරීම මෙහි අරමුණ වේ.
පන්තේරු නර්තනය
පන්තේරු නර්තනය ඉදිරිපත් කරනු ලබන්නේ පන්තේරුව නම් සංගීත භාණ්ඩය භාවිත කරමිනි. මෙම වාද්‍ය භාණ්ඩය සියලුම බදාදා දින වල, පෝය දිනවල සහ දළදා මාලිගාවේ පෙරහැරට අදාළ “කවිකාර මඩුවේ” කවි කීමේදී වාදනය කෙරේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතු බල මහිමය පිළිබඳ කවි බණ සමඟින් නර්තනයන් ඉදිරිපත් කරනු ලබන මෙම ප්‍රසංගයේ අරමුණ වන්නේ සහභාගිවන්නන්ට දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා දීමයි.
රබන් නර්තනය
රබන් වාදනය සමඟින් ඉදිරිපත් කෙරෙන මෙම නර්තන ප්‍රසංගයේ අරමුණ වනුයේද, තෙරුවන් ප්‍රමුඛ කඳුකර ප්‍රදේශයේ ප්‍රබලව වන්දනාමානවලට ලක්වන දේව සංකල්පයන්ගේ ආශිර්වාදය සහභාගිවන්නන් වෙත ලබා දීමයි.
නාග ගුරුළු නැටුම
නාග (නාගයා) බුදුරජාණන් වහන්සේගේ ජීවිතය හා සත් සතිය පිළිබඳ කථා වලට සම්බන්ධ වේ. ශ්‍රී ලංකාවේ මෙන්ම මහා භාරතයේ (ඉන්දියාවේ) නාග සංකල්පය ආගමට සම්බන්ධ බව පෙන්වා දෙනු ලබයි. ගුරුළු යනු හිමාලයේ වාසය කරන බැව් පැවසෙන විශේෂ පක්ෂියෙකි. එමෙන්ම ගුරුළු පක්ෂීන් නාගයන් අල්ලා ආහාරයට ගෙන ඇති බවද සඳහන් වේ. බෞද්ධ සාහිත්‍යය සමාජයට පසක් කරලීම, නාග ගුරුළු නර්තනයේ ප්‍රධාන අරමුණයි.
වෙස් නැටුම් - (ගජගා වන්නම)
උඩරට නර්තනයේ ප්‍රධාන ඇඳුම "වෙස්" ලෙස හැඳින්වේ. උඩරට නර්තන සාහිත්‍යයට අනුව, මෙම ඇඳුම රාවණා රජුගේ ඇඳුම්වලට සමානකම් දක්වයි. වර්තමානයේ මෙම ඇඳුම් හැඳ ඉදිරිපත් කරනු ලබන නර්තනය “ගජගා වන්නම” නම් වේ. වාර්ෂිකව දළදා පෙරහැරේ දළදා කරඬුව වැඩමවන ඇත් රජුගේ ගමන් කරන විලාසය අනුව, ගජගා වන්නම නිර්මාණය කර ඇත. ශ්‍රී දළදා සමිඳුන් වෙත ආශිර්වාද කිරීම මෙන්ම සහභාගිවන්නන්ට ආශිර්වාද කිරීම මෙම නර්තනය ඉදිරිපත් කිරීමේ අරමුණයි.
ගිනිසිසිල
ඈත අතීතයේ සිට පැවත එන මන්තර නම් ගාථා තුළින් ගින්න සිසිල් කරයි. මෙම නර්තනයේ අරමුණ කතරගම දෙවියන්ට වැඳුම් පිදුම් කිරීම සහ බැතිමතුන්ට දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමයි. දළදා මාලිගාවේ පෙරහැර පැවැත්වීම අවසන් වීමත් සමඟම මහනුවර කතරගම දේවාලයේ ගිනිමැලයක් තබාගෙන සක්මන් කිරීම සහ නැටීම එක් වරක් නිරීක්ෂණය කළ හැකිය. එයද ආශිර්වාද කිරීම අරමුණු කර ගෙන ඇත. අද දින "ගිනිසිසිල" නැටුම් ඉදිරිපත් කිරීමේ පරමාර්ථය වන්නේ සහභාගිවන්නන්ට කතරගම දෙවියන්ගේ රැකවරණය සහ උපකාරය පිරිනැමීම සහ පෞරාණික උරුමයේ සහ සංස්කෘතියේ වටිනාකම හඳුන්වා දීමයි.