ව්‍යාපාර නාම සම්බන්ධයෙන් 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥාපනත (පරිච්ඡේදය. 149) අනුව මධ්‍යම පළාතේ ව්‍යාපාරයක් සඳහා ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. ඒ අනුව 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ආවරණය නොවන සියලුම ව්‍යාපාරවල ව්‍යාපාර නාමයන් මෙම ආඥාපනත යටතේ ලියාපදිංචි කෙරේ. වෙළෙඳ, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාතේ ව්‍යාපාර නාම ලියාපදිංචිය කළමනාකරණය කිරීමේ වගකීම් දරන ප්‍රධාන රාජ්‍ය ආයතනය වේ., ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් වශයෙන් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂකටයුතු කරනුලැබේ.

ව්‍යාපාරික ප්‍රජාවට වඩාත් ඵලදායී සහ කඩිනම් සේවාවක් සැපයීමේ අරමුණින් මූලික කටයුතු අප දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලබන අතර1992 වසරේ සිට නව ව්‍යාපාර නාම ලියාපදිංචි සහතික නිකුත් කිරීමේ කාර්යභාරය අදාල ව්‍යාපාරය පිහිටා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සිදු කරනු ලැබේ. ඒ අනුව මධ්‍යම පළාතේ ව්‍යාපාර සිදුකරනු ලබන ව්‍යාපාරික ප්‍රජාව සඳහා අදාල ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමෙන් පසුව, ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකයක් ලබා ගැනීමට හැකියාව ඇත.

 

ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමේ සහතිකය ලබා ගැනීමේ ප්‍රතිලාභ

  • ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම හරහා ව්‍යාපාරයට විධිමත් පරිදි නීත්‍යානුකූල භාවයක් සහ අනන්‍යතාවයක් ලැබීම.
  • ව්‍යාපාරයේ කීර්තිනාමය වර්ධනය වීම.
  • බැංකු ගණුදෙනුපවත්වාගෙන යාමේ පහසුව.
  • මූල්‍ය ආයතනවලින් ණය ලබා ගැනීමේදී ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු කිරීමට සහ විවිධ වරප්‍රසාද සඳහා හිමිකම් ලැබීම.
  • ගනුදෙනුකරුවන් අතර ව්‍යාපාරයේ ඉහළ පිළිගැනීමක් ලැබීම.
  • වෙනත් ආයතන සමඟ ගණුදෙනු කිරීමේදී ව්‍යාපාරය පිළිබඳව විශ්වාසය ගොඩනැගීම හේතුවෙන් ගණුදෙනු කිරීම පහසු වීම.
  • ව්‍යාපාරයේ පැවැත්ම සහ ස්ථාවරත්වය සහතික වීම.
  • පුද්ගලික වත්කමක් ලෙස ඉදිරිපත් කිරීමට හැකි වීම.

 

ව්‍යාපාර නාම ලියාපදිංචි සහතික වර්ග දෙකකි.

  1. පුද්ගලයෙකුගේ ලියාපදිංචි කිරීමේ සහතිකය (තනි හිමිකාරත්වය).
  2. හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ සහතිකය (2-20 හවුල්කරුවන්).

1992 වර්ෂයට පෙර වෙළඳ, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සියලුම ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකයන්හි සංශෝධන කාර්යයන් සහ අවලංගු කිරීම් සඳහා වෙළඳ, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව වෙත පැමිණිය යුතු අතර දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන අයදුම්පත්සම්පූර්ණ කර ලබාදීමෙන් අනතුරුව අදාළ සංශෝධනයන් සිදු කර ගත හැකිය.

 

මූලික වශයෙන් ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකයක් ලබා ගැනීමේදී ඉදිරිපත් කළ යුතු ලේඛන.

  1. ඉල්ලීම් ලිපිය (හවුල්කාරිත්වයක් නම්, සියලුම හවුල්කරුවන් අත්සන් කළ යුතුය).
  2. ග්‍රාම නිලධාරී වාර්තාව (ව්‍යාපාරය පිහිටා ඇති ග්‍රාම නිලධාරී විසින් සැපයිය යුතුය). මෙම වාර්තාව අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සහතික කළ යුතුය.
  3. ව්‍යාපාරය පිහිටා ඇති ප්‍රාදේශීය සභාව හෝ මහ නගර සභාව විසින් ලබාගත් වෙළඳ බලපත්‍රය.
  4. වෙළඳ බලපත්‍රයක් ලබා නොදෙන ව්‍යාපාර සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාව හෝ මහ නගර සභාව විසින් නිකුත් කරන ලද ගෙවීම් රිසිට්පත.
  5. ජාතික හැඳුනුම්පත්වල සහතික කළ පිටපත්. (හවුල්කාරිත්වයකදී සියලුම හවුල්කරුවන්)
  6. ව්‍යාපාරික අයදුම්කරු වෙනත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක පදිංචිකරුවෙකු නම්, ග්‍රාම නිලධාරීවරයාගේ පදිංචිය පිළිබඳ සහතිකයක්.
  7. ව්‍යාපාරය පිහිටා ඇති ඉඩමේ අයිතිය පිළිබඳ විස්තර. (ඉඩම් ඔප්පු සහ හිමිකම් සාරාංශ)
  8. ව්‍යාපාරයේ ස්වභාවය අනුව අවශ්‍ය යැයි සැලකෙන විශේෂ නිර්දේශ/අනුමත කිරීම් හෝ පොලිස් වාර්තා යනාදිය.
  9. ව්‍යාපාරික ස්ථානයේ කුඩා ඡායාරූපයක් සහ නාම පුවරුව (A4 මුද්‍රණය ප්‍රමාණවත්).
  10. ප්‍රාදේශීය ලේකම් විසින් ඉල්ලා සිටින අනෙකුත් සියලුම ලියකියවිලි සහ වාර්තා.